Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, July 26, 2015

බලාරිෂ්ටය


අඩංගු මූලික ද්‍රව්‍ය :-


  • බැවිල් මුල්
  • අමුක්කරා අල


ගුණ :-


  • අර්දිත පක්ෂාඝාතාදී දරුණු රෝග, ගර්භනී රෝග, අග්නිමාන්ද්‍ය, නෂ්ඨ කාම, ද්වජ භංගාදී රෝග සුව කරයි.
  • අග්නිය, බලය හා පුෂ්ඨිය ලබා දෙයි.
  • අධික රුධිර පීඩනය සදහා ද විශේෂ ගුණ දායක වේ.
  • වාතරක්ත රෝගයෙහි දී ද යෙදීමට සුදුසු බලකාරක උත්කෘෂ්ඨ ඔසුවකි.


මාත්‍රාව :-


වරකට මේස හැදි 1 සිට 2 දක්වා වෛද්‍ය උපදෙස් පරිදි ගන්න.



දශමූලාරිෂ්ටය


අඩංගු මූලික ද්‍රව්‍ය :- 


දශමුල් ප්‍රධාන කොට අරිෂ්ට වර්ග සහිත බෙහෙත් ද්‍රව්‍ය 70 ක් පමණ සංයෝග කොට නිෂ්පාදනය කරනු ලැබේ.


ගුණ :-


  • ග්‍රහණි, අරුචි, ශූල, කාශ, භගන්දරා, වාත, ව්‍යාධි, ක්ෂය, වමන, පාණ්ඩු, කාමලා, කුෂ්ඨ, අර්ශස්, ප්‍රමේහ, මන්දාග්නි, උදර රෝගාදිය නසයි.
  • කෘෂ අය තර කරයි
  • ශුක්‍ර  බලය වඩයි.

මාත්‍රාව :-


වරකට මේස හැදි 1 සිට 2 දක්වා වෛද්‍ය උපදෙස් පරිදි ගන්න




Saturday, July 11, 2015

අළු ගෝමර හෙවත් අළුහම්




     අළු ගෝමර " පිට්රියසිස් වර්සිකොලර් "  නමින් හැදින්වේ. මේවා වැඩිපුරම වැලදෙන්නේ මල්බර වයසේ පසුවන කෙල්ලන්ටය. ළමැදෙහි හා බෙල්ලෙහි බහුල ව හැදෙන ගෝමර රවුම් ලප සේ දිස් වේ. මදක් ඇතිල්ලුවොත් සමින් කුඩු හැළෙන සෙයක් ද පෙනේ. නාන විට එය නොපෙනේ. මෙය දුබල පුස් වර්ගයක් නිසා හට ගන්නා බව සැලකේ.


මෙම රෝගයට ප්‍රතිකාර වශයෙන්,

  • පළමු ව කල යුත්තේ රක්ත ශෝධනයයි. මේ සදහා කිහිරි එන ඔසු හොදය.
  • ඛදිරාරිෂ්ටය
  • රත් හදුන් මහ කෂාය
  • ශාරිබාද්‍යාසවය
  • නිම්බාරිෂ්ටය
  • අග්‍රරාජ චූර්ණය
  • චෞපචීනී චූර්ණය
  • අල බේත් චූර්ණය 
  • වැල් දෙහි චූර්ණය


මූලාශ්‍රය - ආයුර්වේදයේ ජීවන දර්ශනය (වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම)



කාසය හෙවත් කැස්ස






     කැස්ස වෙද පොතේ හදුන්වන්නේ කාසය නමිනි. හෙම්බිරිස්සාවෙන් කැස්ස ද කැස්සෙන් ක්ෂය රෝගය ද හටගනිතියි මතයක් ඇති අතර රෝගයේ ගෙය කැස්සයි. කැස්ස හටගන්නේ උගුරේ ඇතිවන කැසීමක් නිසා ය. කැසීමක් ඇතිවන්නේ ශ්වාසනාලයේ ප්‍රදහයක් නිසා රැස්වන සෙම් කොටස් අස් කිරීම නිසාය.

කැස්සට ඇතිවීමට බාහිර මෙන් ම අභ්‍යන්තර හේතු ද ඇත.

1. අභ්‍යන්තර හේතු,

- වේග දරා සිටීම
- කිවිසුම් වේග වැලැක්වීම
- හදවත් රෝග
- පෙනහලු වල ද්‍රව කොටස් එක් රැස් වීම
- ශ්වාස නාල වියළීම
- පණු අමාරු
- ආම රෝග

2. බාහිර හේතු,

- අධිකව දුම් හා දූවිලි වැදීම
- අධිකව ව්‍යායාම කිරීම
- ආහාර පාන හිරවීම
- රළු ආහාර පාන නිතර ගැනීම
- උස් හඩින් නිතර කතා කිරීම

කොස් ඇට රළු ආහාරයකි. ය වැඩිපුර කෑමට ගැනීමෙන් වාතය කිපී කැස්ස ඇති කරයි. රඹුටන් ද වැඩිපුර කෑමෙන් කැස්ස ඇති කරයි.

කැස්සට ප්‍රතිකාර වශයෙන් ගත හැකි අත් බෙහෙත්,

  • ආඩතෝඩා පංචාංගය තම්බා මී පැණි දමා බීම.
  • ඇඹුල් දොඩම් යුෂ මේස හැදි කප්පරවල්ලිය කොළ යුෂ මේස හැදි 3 මදක් රත් කර නිවා මී පැණි මේස හැදි 2ක් දමා වරින් වර බොන්න.
  • ඇඹුල් දොඩම් ඉස්මට සූකිරි කුඩු දමා වරින් වර බොන්න.
  • ආඩතෝඩා මුල් කලං 1/2, කළු මදුරුතලා කොළ 21, ගම්මිරිස් ඇට 5 ක් වතුර අවුන්ස 8-2 ට සිද පෙරා සවසට බොන්න.
  • ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි මුල්, ඉගුරු පියළි, නෙළුම් රේණු සම සේ ගෙන චූර්ණ කර ඒ බරින් බාගයකට පිටි සීනි දමා මිශ්‍ර කර වරකට තේ හැන්දක් බැගින් උදේ සවස වැල්මී තැම්බූ වතුරින් ගන්න.
  • කටුවැල් බටු මුල්, සිරිතේක්කු, ඉගුරු, කොත්තමල්ලි කලං 3 බැගින් ගෙන පත 8-1 ට සිදුවා පෙරා මී පැණි දමා උදේ සවස බොන්න.
  • වැල්මී, තිප්පිලි, රටඉදි සමව ගෙන මී පැණියෙන් අඹරා තබාගෙන ටිකින් ටික කන්න.
  • කුඹුරු දළු, නික දළු, අමුඉගුරු, සුදුලූණු සම පමණ ගෙන කොටා වංඩුවේ තම්බා මී පැණියෙන් දෙන්න.
  • බුද්ධරාජ කල්කය වරකට මදටිය ඇට 2ක් පමණ දිනකට 3 වරක් ඇඹුල් දොඩම් ඉස්ම සීනි හා මී පැණි දමා දෙන්න.

- තද බල කැස්සට,

  • වැල්මී, සූකිරි,අසමෝදගම්, අමුඉගුරු කලං 3 බැගින් ද කුරුදු, සාදික්කා, වසාවාසි, මදටිය 3 බැගින් ද සුදුලූණු බික් 10ක් ද සමග දෙහි ගෙඩි 2කක පැගිරි සහිත ලෙලි ගෙන සියල්ල හොදින් තලා බදුනෙක බහා වතුර බෝතල් 2-1 ට සිදුවා පෙරා නිවුණු පසු මී පැණි අවුන්ස 6ක් දමා මේස හැදි එක බැගින් වරින් වර බොන්න.
  • ආඩතෝඩා පංචාංගය කොටා වංඩුවේ තම්බා මිරිකා, ජීවක කල්කය මදටිය 1-2 දක්වා දිය කර මී පැණියෙන් දෙන්න.
  • ආඩතෝඩා කොළ, වැල්මී, මුද්දරප්පළම් තැම්බූ වතුරට සූකිරි දිය කර දිනකට 3 වරක් දෙන්න.(වියළි කැස්සට)

සෙම වියළි විට :- වාසාරිෂ්ටය, පිප්පල්‍යාද්‍යාසවය

සෙම බහුලව වැගිරෙන විට :- කනකාසවය

සාමාන්‍ය අවස්ථාවට :- ද්‍රක්ෂාරිෂ්ටය

* මාත්‍රාව - දිනකට 3 වරක් කෑමට පසු

- සුදුසු කෑම,

එළබටු, පෙතිතෝර, කළුකැම්මේරිය, නිල් තම්පලා, උදු, ළපටි රාබු, මාංස රස, කොල්ලු, එළු කිරි, තලතෙල්, උක් යුෂ, පෙරළි දිය, උණු වතුර

- නුසුදුසු කෑම බීම හා විහරණ,

නිවිති, බණ්ඩක්කා, මුදවාපු කිරි, ඇල්වතුර, අයිස් වතුර, දුම්පානය, නෑම, දහවල් නිදා ගැනීම හා මෛථූන සේවනය



මූලාශ්‍රය - ආයුර්වේදයේ ජීවන දර්ශනය (වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම)


මහා වාත වේගය නම් වූ අධික රුධිර පීඩනය






     අහිතකර ආහාර පාන, විහරණ නිසා වාතය කිපේ. ඒ නිසා ඔහු යටතේ සිටින රක්තය කිපේ. මේ දූෂණය වූ රක්තය ආශ්‍රය කරන රුධිර නාල වල බිත්ති ඝන බවට පැමිණේ, දැඩි වේ, සිදුර කුඩා වේ, එවිට රුධිර නාලයේ ඇතුලත පීඩනය වැඩි වී රුධිර ධාවනයට බාධා ඇති වේ. එමගින් අධික රුධිර පීඩනයට හේතු වේ.

    නිතර නිතර කනගාටුවෙන් සිටින, තදබල චිත්ත පීඩා ඇති, නිති තැතිගන්නා සුලු, මොළය වෙහෙසා වැඩ කරන, අධික තරබාරු සිරුරත් ඇති, මත්පැන් හා දුම්වැටි බහුලව භාවිතා කරන, ව්‍යායාමයෙන් තොර, මැදිවියේ සිටින ස්ත්‍රී පුරුෂයන් හට මේ රෝගය හට ගැනේ. 


මේ රෝගයට ප්‍රශස්ත ඖෂධ කිහිපයක්,

  • බැවිල මුල්, බෙලි මුල් හා වියළි ඉගුරු කලං 4 බැගින් ගෙන කෂාය කර බීම.
  • රත්නිටොල්, කෙළිද හාල්, දියමීත්ත, කටු කරෝසන, අතිවිඩයම්, අරළු කලං 2 බැගින් ගෙන කෂාය කර බීම.
  • පුස්කර, එරඩු, තිරැස්සවාලු, වියළි ඉගුරු, රසකිද, ඉගුරු පියළි, කීකිරිදිය, සිරිතේක්කු, සාරණ මුල්, දස මලු කෂාය කර බීම.
  • වැල් පෙණෙල, කරපිංචා නැටි, බැවිල මුල් කලං 4 බැගින් ගෙන කෂාය කර වායුරාක්ෂ ගුලි 2ක් දමා බීම.
  • බැවිල මුල්, කටුකරඩු මුල්, එරඩු මුල්, නික මුල්, දේවදාර, වියළි ඉගුරු, බෙලි මුල්, හීන් අරත්ත, ලුණු වරණ, මුරුවා කලං 1 මදටිය 4 බැගින් පත 8-1 ට සිදුවා පෙරා බීම.

සාමාන්‍ය භාවිතයට :- දශමූලාරිෂ්ටය , බලාරිෂ්ටය


මූලාශ්‍රය - ආයුර්වේදයේ ජීවන දර්ශනය (වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම)

Wednesday, July 8, 2015

යුග දිවියේ මිහිර මවන හෙල ඔසු






     ආයුර්වේදය යනු ජීවිතය පිළිබද උගන්වන විද්‍යාවයි. ආයුර්වේදයේ පරමාර්ථය ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර් වර්ග සම්පත්තිය සාධනය කොට මානව වර්ගයාගේ මෙලොව හ පරලොව ජීවිතය සුඛිත මුදිත කිරීමයි. අද සමාජයේ බොහෝ පුරුෂයනට ඇති ප්‍රධානත ම ප්‍රශ්නය වන්නේ නම් ක්ෂණිකව ශුක්‍ර මෝචනය යි. ඒ නිසා දීර්ඝ වේලාවක් මෛථුන සේවනයේ යෙදීමට බොහෝ ආයුර්වේද ඖෂධ ඇත.


  • ආකාරකරභාදි වටිය (කුංකුමාදි වටිය)
අක්‍රවිට්ටා, තිප්පිලි, වියළි ඉගුරු, සාදික්කා, කපුකිණිස්ස ඇට, කරාබු නැටි, කුංකුමප්පු, සුදු හදුන් ග්‍රෑම් 15 බැගින් ද අබිං ග්‍රෑම් 60 ක් ද ගෙන පලමුව උණු දියෙන් අඹරා දෙවනුව මීපැණියෙන් අඹරා මදටිය 2 ප්‍රමාණයට ගුලි කොට වරකට ගුලියක් බැගින් ගන්න.
  • සියඹලා ඇට මද වටිය
සියඹලා ඇට දින කිහිපයක් ජලයේ බහා තැබීමෙන් පසු පොත්ත පහසුවෙන් ඉවත් කර ගැනීමෙන් පොත්ත ඉවත් වේ. එම මදය වියළා කුඩු කොට පළමුව උණු දියෙන් ද දෙවනුව මී පැණියෙන් ද අඹරා කඩල ඇටයක් තරමට ගුලිකොට වරකට ගුලි 3 ක් බැගින් ගන්න
  • මදන මෝදකය
ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටක ශෘංගී, කොට්ටම්, කොත්තමල්ලි, සවිද ලුණු, ඉගුරු පියළි, තලිස් පතුරු, කට්ඵල, නාමල් රේණු, අසමෝදගම් වැල් මී, උළුහාල්, සූදුරු, කළුදුරු යන මේවා සමභාග ගෙන බරට බරක් ගිතෙලින් බැද ගත් කංසා ඇට හා කොළ ගත යුතුය. ඒ සියල්ල බරට සීනි ගත යුතුය. ත්‍රි සුගන්ධි හා කපුරු මෙන් ම මී පැණි ගිතෙල් ද පමණට යොදා මෝදක පරිභාෂාව අනුව සාදා ගත යුතුය. මාත්‍රාව ග්‍රෑම් 1-2 දක්වා ගත යුතුය.
  • කාමේශ්වරී මෝදකය
මදන මෝදකයට බොහෝ සෙයින් සමානය.
  • එළු අණ්ඩ
එළුවෙකුගේ අණ්ඩ කෝෂය ගෙන තිප්පිලි සුනු හා සවිද ලුණු දමා ගිතෙලින් බැද ආහාරයට ගත යුතුය.


මූලාශ්‍රය - ආයුර්වේදයේ ජීවන දර්ශනය (වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම) 

Friday, June 26, 2015

ඇදෙන ගතිය ඇති ඇදුම



     වත්මන්හි ජන ජීවිතයට වේගයෙන් සමීප වූ රෝග දෙකක් ඇත්නම් ඒ ඇදුම හා පීනස යි. එය රෝග 2කට වඩා එකම රෝගයේ අවස්ථා දෙකක් සේ දැක්විය හැක. ඇදුමෙහි ප්‍රධාන ලක්ෂණය හුස්ම ගැනීමට ඇති අමාරුවයි. ගැමි ව්‍යවහාරයේ මෙය ඊල, මුහ, හැට්ටුව, ශ්වාසය, ඉළප්පුව, ළය පීනස යන නම් වලින් ද හදුන්වයි.

ඇදුමට බලපාන හේතු,

1. සහජ ව හෙවත් පරම්පරාව
2. ශීතල දේශගුණය
3. දූවිලි, මල් රේණු හා සතුන්ගේ ලෝම ආශ්වාස මාර්ගයෙන් ශරීර ගත වීම
4. ආහාර වර්ග අසාත්ම්‍ය වීම
5. ඖෂධ වර්ග අසාත්ම්‍ය වීම
6. ඇතැම් වැරදි විහරණ

- ඇදුමට පිළියම්,

  • කොල්ලු, වියළි ඉගුරු, කටුවැල් බටු, පාවට්ටා කළං 3 බැගින් පත 8-1 ට සිදුවා පෙරා මී පැණි දමා උදේ සවස බොන්න.
  • පාවට්ටා, කහ, කොත්තමල්ලි, රසකිද, සිරතේක්කු, තිප්පලි, වියළි ඉගුරු, කර්කටක ශෘංගි, කලං 1 මදටිය 10 බැගින් පත 8-1 ට සිදුවා පෙරා ගම්මිරිස් කුඩු දමා උදේ සවස දෙවරට බොන්න.
  • ඉගුරු, කලාදුරු, තිප්පිලි, සිවිය, දෙවදාර, සුවද කොට්ටම්, බැබිල මුල්, කර්කටක ශෘංගී, පාවට්ටා, සිරිතේක්කු යන මේවා කලද බැගිනි. සියඹලා කොල කලං 12 යි. වතුර පත 16-2 ට සිදුවා පෙරා මී පැණි දමා පැය 4න් 4 ට සතියක්ම බොන්න.
  • පාවට්ටා දළු, මුල්, මල්, පොතු, කලං 3න බැගින් ගෙන වතුර පත 8-1 ට සිද සීනි, මීපැණි දමා උදේ සවස දෙවරට බොන්න.
  • පාවට්ටා දළු පවනේ වියළා කුඩු කර බෝතලයක අසුරා වරකට තේ හැදි 1 ක් උතුරන වතුරට දමා කෝපි වගේ සකසා සීනි දමා දිනකට තුන් වරක් බොන්න.
  • සිරිතේක්කු, සුවද කොට්ටම්, තිප්පලි, ඇසල මුල්, අරළු, වැල් මී කලං 6 යි. විශ්ණු ක්‍රාන්තිය කලං 12 යි. කසාය කර සූකිරි දමා බොන්න.
  • උණ ගොබ කැබැලි කොට වතුර පත 8-1 ට දමා කසාය සිද පෙරා තිප්පලි කුඩු දමා බොන්න.
  • වියළි ඉගුරු, සුදුලූණු, තිප්පලි, තිප්පලි මුල්, කලං 3 න බැගින් ගෙන පත 8-1 ට සිද පෙරා බොන්න.
  • පාවට්ටා මුල්, සිරිතේක්කු, කර්කටක ශෘංගී, වියැළි ඉගුරු, තිප්පලි සම පමණ ගෙන චූර්ණ කර තේ හැන්දක් උතුරන වතුරට දමා කෝපි වගේ සකසා සීනි දමා බොන්න.
  • අමු ඉගුරු, සුදුලූණු සම ව ගෙන කොටා, වණ්ඩුවේ තම්බා, යුෂ පත බාගයක් මිරිකා ගෙන ඊට ඇඹුල් දොඩම් ඉස්ම පත භාගයක් දමා පැණි රස වන තරමට සීනි මීපැණි දමා විරින් වර මේස හැන්දක් බැගින් බොන්න.
  • බුද්ධරාජ කල්කය, මීපැණි, ඉගුරු, අඹුල් දොඩම් ඉස්මෙන් බොන්න.


- ඇදුම උත්සන්න වූ විට,


  • පිරිසිදු අබ තෙල් තේ හැන්දක් ගෙන, සීනි තේ හැන්දක් දමා අනා ලේහ කරන්න.
  • නවහන්දි කිරි බින්දු 2-3 පීරිසියකට ගෙන එයට විනාකිරි බින්දු 5 ක් පමණ එක් කොට සීනි ටිකක් දමා ලේහ කරන්න.

- සුදුසු අරිෂ්ට හා ආසව,

  • පිප්පල්‍යාද්‍යාසවය
  • දාක්ෂාරිෂ්ටය
  • කනකාසවය


Wednesday, June 24, 2015

සතුරෙකු මෙන් හිංසා කරන අර්ශස්



     අද සමාජයේ බහුලව පැතිරී ඇති ලෙඩක් වන්නේ අර්ශස් ය. මේ රෝගය මාරක වන්නේ උපද්‍රව බහුල වුණොත් පමණි. ගැම් වහරේ අර්ශස්, දුර්නාම, ගුද කීල, අරිසස් ගාය, මූලග්ගාය යන නම් වලින්ද මෙය හදුන්වයි. මේ රෝගය සිවුපා සතුනට නැත. මිනිස් ගුද මාර්ගය ගුරුත්වාකර්ශණයට නිතරම හසු වන බැවින් එය මිනිසාට උරුම වී ඇත. ලේ යන අර්ශස් රක්තාර්ශස් නම් වේ. ලේ නොයන අර්ශස් ශුෂ්කාර්ශස් නම් වේ. 

අර්ශස් රෝගය හට ගන්නා හේතු :-

  1. ව්‍යායාමයේ නොයැදීම
  2. දහවල් නිදා ගැනීම
  3. වාත වේග, මුත්‍ර වේග හා මලවේග දරා සිටීම
  4. මත්පැන් බීම
  5. සැප යහන් ඇසුරු කිරීම
  6. තෙල් බහුල ආහාර වැඩිපුර ගැනීම
  7. මල බද්ධය
  8. අක්මාවේ ආබාධ
  9. ගර්භාෂයේ අර්බුද
  10. ගර්භණීභාවය
  11. මුත්‍රගල්
  12. සෙංගමාලය
මෙය බෙහෙත් බලයෙන් පමණක් සුවකිරීමට බැරි රෝගයකි. ආහාර හා විහරණ අකුරටම පිළිපැදීමෙන් පමණයි. 

- ලේ යන අර්ශස් වලට,
  • බිං කරල් හැබ කලං 6 යි, කලාදුරු අල කලං 6 යි, වතුර පත 8-1 ට සිදුවා පෙරා සීනි දමා බොන්න.
  • කොහිල අල, ගොටුකොල, රතුලූනු, සූදුරු කසාය බොන්න.
  • කෙළිද ඇට කසායට ඉගුරු පිටි දමා බොන්න.
  • රතුලූනු කලං 6 යි, අරළු, බුළු, නෙල්ලි, එනසාල් හා ඉගුරු පියළි කලං 6 යි, කසාය කොට සීනි මී පැණි දමා බොන්න.
  • වැල් මදට, මානෙල් අල, ඉඹුල් ලාටු, ලොත් පොතු, කළු තල, සුදු හදුන් මේවා චූර්ණ කොට එළු කිරි සමග බොන්න.
- ලේ නොයන අර්ශස් වලට,


  • මගුල් කරද මුලේ පොතු, සාරණ මුල්, රත්නිටුල් මුල්, අරළු, තිප්පිලි, වියළි ඉගුරු කලං 3 බැගින් වතුර පත 8-1 ට සිදුවා සහිද ලුණු දමා උදේ සවස බොන්න.
  • තිරැස්සවාලු මුලේ පොතු, අරළු, නෙල්ලි, මුද්දරප්පලම් කලං 3 බැගින් පත 8-1 ට සිදුවා පෙරා උදේ සවස බොන්න.

 - අර්ශස් ගෙඩි වල ගෑමට,


  • වියැළි කහ කුඩු කර දළුක් කිරි වලින් අඹරා ගාන්න.
  • රතුලූනු, පෙණෙළ කොළ කෝමාරිකා අඹරා ගාන්න.
  • සර්ව විශාදි තෙල් හ ගිතෙල් සම පමණ ගාන්න

- අර්ශස් ගෙඩි තැවීමට,

  • බේත් අනෝදා කොළ කොටා පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා තවන්න.
  • අලුත් ගොම පොට්ටනියකින් තවන්න.
  • අරළු කොළ, ගම්මාළු කොළ, තැම්බූ වතුරින් තවන්න.

- දුම් ඇල්ලීමට බේත්,


  • තිප්පිලි, අමුක්කරා, නික කොළ, එළබටු ගෙඩි මේවා සම ව ගෙන, තළා වියළා තබා, ගිතෙල් ඉස, පොල්කටු අගුරට දමා දුම් ඇල්ලීම සුදුසුය.
  • තනිකර කපුරු හෝ දුම්මල දුම ද ඇල්ලීම සුදුසු ය.
  • එළබටු ගෙඩි මදක් තළා, වියළා තබාගෙන එය පොල්කටු අගුර මත දමා ඉන් නැගෙන දුම් අර්ශස් ගෙඩිවලට අල්ලන්න.

කෙදි බහුල ආහාර අර්ශස් රෝගියාට ඉතා හොදය. කොහිල, හබරල, ඉදුණු බෙලි, කිඩාරම් අල, මඩු පිට්ටු ඌරු මස්, සාරණ, කංකුන්, රතුලූණු, කොස්, බණ්ඩක්කා, වැටකොලු වැනි ආහාර විශේෂ යි.

හරක් මස්, බල කරවල, පාන්, කෝපි අර්ශස් රෝගියා අගුණයි.