Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, October 3, 2022

අරිෂ්ට බොන කොට සිරෝසිස් හැදෙන කථාව (දෙවන කොටස)


 

බහුසෞඛ්‍ය පද්ධතීන් (pluralistic healthcare systems) පවතින රටක පැවතිය යුතු වෘත්තීය සමෝධානය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඒකාධිකාරය නිසා වල් වැදී තිබීම නිසා රෝගීන් ගේ තෝරා ගැනීමේ අයිතිය අභියෝගයට ලක්වී තිබේ. එනිසාම රත්කල්කයට, කොළ මැල්ලුම් පත්තු බැඳීමට, ගුලි කල්ක අරිෂ්ට බීමට එරෙහිව ප‍්‍රසිද්ධියේ අවඥාව එල්ල කරන කිසිදු වෛද්‍ය විශාරදයෙකු මෙබඳු දේශීය  වෛද්‍ය ක‍්‍රම ගොඩගැනීමට අතහිත දී නොමැත. එභෙත් අරිෂ්ට බීමෙන් සිරෝසිස් හැදෙන බව කීමට විද්‍යාත්මක සාක්ෂියක් නොමැතිවම ඉදිරිපත්වීමට තරම් ජනහිතකාමීය.

ලිවර් සිරෝසියාවේ සත්‍ය හේතු සඟවා ඒ සියල්ල අරිෂ්ට පිට පටවා අහක බලා ගන්නා වෛද්‍ය විශේෂඥයින් ගේ අවධානය යොමු නොවන කරුණු ජනතාව දැනගත යුතුමය. මේවා දැන දැන ජනතාවට බොරු කියනවාද එසේ නොමැති නම් නොදන්නා කම නිසා ජනතාවට ඇත්ත කියනවාද යන්න විමතියකි. විශේෂයෙන්ම, සියළු රෝග සුවපත් කළ හැකි සර්ව ද්‍යෝෂ නිවාරණ වෛද්‍ය ක‍්‍රම මේ ලොව නොපවතින නිසා වෛද්‍ය ක‍්‍රම වල අන්‍යෝන්‍ය සහයෝගය සහ එකිනෙක කෙරෙහි ගරුකිරීමේ වෘත්තීය සදාචාරය අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. 

ඕනෑම බටහිර වෛද්‍ය පාඨ්‍ය ග‍්‍රන්ථයක් පෙරළා බැලුවහොත් එහි ලිවර් සිරෝසියාවට හේතුකාරක දේ අතර චිරකාලීනව මද්‍යසාර භාවිතය දැක්වෙන අතර එය එතරම් නිශ්චිත සහ ඒකායන හේතුව ලෙස නොදැක්වේ. යමෙක් ලිවර් සිරෝසියාව මද්‍යසාර නිසාම වැළඳෙන රෝගයක් යැයි පැවසුව හොත් එය වෛද්‍යමය වශයෙන් ඉතා අතාර්කික සහ අවිනිශ්චිත ප‍්‍රකාශයකි. එසේම, මීට අමතරව එහි දැක්වෙන තවත් සාධක කිහිපයක්ම තුළ ඖෂධ වර්ගයන් මෙන්ම ඇතැම් රසායනිකයන් ද ඒ අතර වේ.  ඒවා සම්බන්ධයෙන් සොයා බලන විට අරිෂ්ට වෙත එක් ඇඟිල්ලක් දිගු කරන විට තමන් දෙසට ඇඟිලි දෙකක් එල්ල වී ඇති බව එල්ල වන බව ඉඳුරාම පෙනේ.

අද සමාජයේ ජීවත් වන ජනතාවගේ ජීවන ශෛලිය දෙස බලන විට සිරුරට ඇතුළු වන අහිතකර පදාර්ථ සියල්ල තුළින්ම නිරන්තර පීඩාවට පත් වන ඉන්ද්‍රිය අක්මාව බව අමුතුවෙන් කිව යුතු නොවේ. අක්මාවේ කි‍්‍රයාකාරිත්වය දෙස බලන විට එය සිරුර තුළ භෞතවේදීය සමබරතාව ආරක්ෂා කර ගැනීමේ ලා ඉතා වෙභෙසකර මෙභෙයක නියැලෙන බව ඉතා පැහැදිලිය. මේ තත්වය යටතේ අපේ අක්මාව අනතුරට පත් කිරීමේ ලා දායක වන දේ දහසකුත් එකක් දිනපතා නිතිපතා අපේ සිරුරු තුළට ඇතුළු වන බව නිසැකවම පෙනේ. අද සමහර රෝගාබාධ සම්බන්ධයෙන් ඍජුව සහ අනියමින් බලපාන එක් හේතුවක් ලෙස අක්මා කි‍්‍රයාකාරිත්වයේ දුර්වලතාව ද පෙන්වා දිය හැකිය. 

විශේෂයෙන්ම, මිනිසුන් නිතර නිතර වේදනා නාශක භාවිතය ද අක්මාවේ කි‍්‍රයා හානියට බලපාන මෙබඳු එක් සාධකයකි. එහිදී වඩාත් භායානක වන්නේ කුඩා දරුවන්ට නිතරම විවිධ අවස්ථාවන්හි දෙමාපියන් හිතුමනාපයේ අත්බේත් ලෙසට ෆාමසියෙන් ගෙනවිත් දෙන උණ සහ වේදනානාශක ලෙස ප‍්‍රකට ඖෂධයන්ය. එසේම, ප‍්‍රදාහ අවස්ථාවන්හිදී භාවිත කරන ස්ටෙරොයිඩ වර්ග සහ සමහර ප‍්‍රතිජීවක ඖෂධ ද අක්මාවේ සෞඛ්‍යයට හානි සිදුකරන බවට විද්‍යාත්මක සාක්ෂි එමටය. Drug-Induced Liver Injury (DILI) හෙවත් Drug-Induced Hepatotoxicity (DIH) යනු එයයි. ශාකමය සංඝටක නිසා ඇතිවන Herb-Induced Liver Injury (HILI) නමින් හැඳින්වේ. 

ඖෂධ, විෂ හා ශාක 900 කට වැඩි ප්‍රමාණයක් අක්මාව හානි වීමට හේතු වන අතර, පූර්ණ අක්මා හානි  වලින් 20-40% අතර ප්‍රමාණයකට හේතු වන්නේ ඖෂධ වේ. ඖෂධ ප්‍රතික්‍රියා වලින් 75% ක් පමණ අක්මාව බද්ධ කිරීම හෝ මරණයට හේතු අන්දමේ බරපතල හානි වලට හේතු වේ. පුද්ගලයින් 10,000 සිට 100,000 කින් 10 දක්වා 15 ක් සංඛ්‍යාවක් අක්මා හානිය සිදුවන බෙහෙත් වට්ටෝරු වලට නිරාවරණය වන බවට ගණන් බලා ඇත. ඒ අනුව, එක්සත් ජනපදයේ 44,000 ක් පමණ දෙනා වාර්ෂිකව මෙවැනි හානි අත්විඳින, එය මිනිසුන්ට සිදුවන හානිය පමණක් නොව අධික සෞඛ්‍ය වියදම් සඳහාද හේතු වේ. International Organizations of Medical Sciences (CIOMS) මගින් ගිය වසරේ නිකුත් කළ “Drug-induced liver injury (DILI): Current status and future directions for drug development and the post-market setting” නම් වාර්තාව මේ පිළිබඳ වැදගත් තොරතුරු හෙළි කරයි. 

ඊළඟට වැදගත් කරුණ වන්නේ අපේ ආහාරය සමඟ සිරුරට ඇතුළු කර ගනු ලබන විවිධ කෘති‍්‍රම රසායනික පදාර්ථ විශාල සංඛ්‍යාව අතර අක්මාවට හානි සිදුකරන ඒවාද තිබීමය. මේවා ගැන නොකියන වෛද්‍යවරුන් සිය වගකීම අමතක කරන්නේ ඒවා බහුජාතික සමාගම් වල නිෂ්පාදන නිසා නම් එය මහත් සමාජ ඛේදවාචකයකි. අපේ ආහාර සමඟ ශරීරගත වන බැර ලෝහ, කෘමිනාශක, වෙනත් කෘෂිරසායන ආදිය ඍජුවම අක්මාවේ කි‍්‍රයා හානියට බලපාන බව නොකිවමනාය. එසේම, සුපර්මාකට් සංස්කෘතිය හරහා අපේ ආහාර වේලට එක් වන විවිධ ටින් කෑම නිසා ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය නිතැතින්ම අක්මාවට හානි කරයි. 

ඊළඟට අප අශ්වාස කරන වාතය විවිධ හේතු නිසා දූෂණය වීමේ අවසන් ප‍්‍රතිඑලය ද අක්මාවේ කි‍්‍රයාකාරිත්වයට බලපාන රසායනික ද්‍රව්‍ය සිරුරට ඇතුළු වන එක් මඟක් වේ. ප‍්‍රධාන හේතු සමුදාය අත්හැර අවශේෂ සැකයක් පිටුපස හඹායන්නේ ද්වේෂසහගතව ආයුර්වේදයට පහර එල්ල කිරීමේ යම් අවශ්‍යතාවක් නිසාදැයි සිතේ. මෙරට යටත්විජිත යුගයේ දී පැවති පරාධීන හීන දීන මානසිකත්වයෙන් උරුම වූ චින්තන සම්ප‍්‍රදායේ එක් ප‍්‍රතිඑලයක් ලෙස දේශීය වෛද්‍ය ක‍්‍රමය කෙරෙහි උපහාසාත්මක ප‍්‍රකාශ නිකුත් කරන සෞඛ්‍ය බලධාරීන් ද වත්මනෙහි සිටී. ඒවාට උඩගෙඩි දෙමින් ඇරියස් කවර් කරන දොස්තර මහතුන් ද එලෙසින්ම බොරු මත රෝගීන් අතර පතුරුවා හරියි.  

මෙහිදී මතු කළ යුතු ඉතාමත් වැදගත් කරුණ වන්නේ සමහර ආයුර්වේද ඖෂධ අක්මාව ආරක්ෂා කරන අතර අක්මාවේ භෞතවේදීය සෞඛ්‍යය ද රැක දෙයි. දැනට සිදුකර ඇති පර්යේෂණ අනුව ආයුර්වේදයේ භාවිත කරන ශාකමය ඖෂධ වෙනත් බාහිර හේතු නිසා අක්මාවට සිදු විය හැකි හානි වැළක්වීමට මෙන්ම අක්මාවේ කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමේ හැකියාවක් සහිත බව භෙළිවී තිබේ. සමහර විටෙක අක්මා හානිය සිදුවූ විටෙක පවා එය සුවපත් කළ හැකි ශක්තියක් මෙබඳු ශාකමය ඖෂධ වල තිබේ. එබඳු එක් ප‍්‍රකට ඉන්දියානු ආයුර්වේද ඖෂධයක් අද බටහිර වෛද්‍යවරුන් අප‍්‍රසිද්ධියේ රෝගීන් හට නිර්දේශ කරන බව බොහෝ දෙනා නොදනී. ඉන්දියානු විද්වතුන්ගේ පර්යේෂණ අනුව මෙම ශාකමය ඖෂධ අක්මාවේ එන්සයිම ස‍්‍රාවය සාමාන්‍ය මට්ටමෙන් පවත්වාගෙන යන අතර අක්මා µසෙල ප‍්‍රතිජනනය කිරීමේ කි‍්‍රයාවලිය ද මෙමගින් ඉහළ යන බව ද සොයාගෙන තිබේ. 

අප මෙබඳු අවස්ථාවක කළ යුත්තේ මෙරට අක්මා හානියට හේතුවන අවශේෂ කරුණු සම්බන්ධයෙන් මීට වඩා ජනතාව දැනුවත් කිරීමත් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසඳුම් උපරිම මට්ටමෙන් කි‍්‍රයාවට නැංවීම විද්වත් සමාජයේ කාර්යභාරය විය යුතුය. එහිදී ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට කළ හැකි දෑ සඳහා ද යම් ඉඩකඩක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ නිර්මාණය කළ යුතුය. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් දියුණු ලෝකයේ අවධානය යොමු වන විට අපේ අරිෂ්ට යුරෝපයේ ඇමරිකාවේ අලෙවි කෙරෙන විට ඒවාට අපහාස උපහාස කිරීමෙන් ආයුර්වේදයට ඇති වෙමින් පවත්නා ගෝලීය ඉල්ලුම පහළ නොබසී. එසේම, ආයුර්වේදය භෙළා දැකීමෙන් එය අනාගතයේ දී විද්‍යාත්මක සාක්ෂි මත පාදක වන වෛද්‍ය ක‍්‍රමයක් ලෙස ලොව ප‍්‍රචලිත වීම වැළක්වීමත් කළ නොහැකිය. අප කළ යුත්තේ ආයුර්වේදය වැනි ජාතික සම්පතක දායකත්වය ජනතා සෞඛ්‍ය සංවර්ධනයට උපරිම ලෙස යොදාගැනීම සඳහා අවශ්‍ය මංපෙත් සැලසීමයි.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Please Give Us Your 1 Minute In Sharing This Post!
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →
Powered By: Nirosha SoftNet

0 comments:

Post a Comment