Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label පුරුෂ රෝග. Show all posts
Showing posts with label පුරුෂ රෝග. Show all posts

Tuesday, August 18, 2020

BPH - වයස්ගතවීමත් සමඟ පුරුෂයන්ට ඇතිවන රෝග (දෙවන කොටස)




පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමේ රෝග තත්වය ඉතා දරුණු වූ විට එය පිලිකාමය තත්වයක් දක්වා වර්ධනය විය හැක. පුරස්ථි ග්‍රන්ථිය යනු පිරිමින්ට
බහුලවම පිලිකා හට ගන්නා ශරීර අවයවකි. එවැනි අවස්ථාවන් හීදී නම් ශල්‍ය කර්මයක් මගින් ග්‍රන්ථිය ඉවත් කිරීම සිදු කරයි.

නමුත් මෙම පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමෙ තත්වය ( BPH) ප්‍රතිකාර මගින් සුවකර ගත හැකි තත්වයකි.

මෙවැනි ඇතැම් රෝගින්ට මුත්‍ර බටයක් යොදා මුත්‍ර පිටකිරීමට ද සිදු වේ. සාමාන්‍යයෙන් මෙම රෝග තත්වය මුල්ම අවස්ථාවේ ආහාර හා ඖෂධ වලින් පාලනය කල හැක. රෝග ලක්ශන දරුණු අතට හැරනවාද , නව රෝග ලක්ශන හට ගන්නේ ද යන්න අවධානය යොමු කරමින් ප්‍රතිකාර කිරීම සිදු කරයි. 

අවසාන ප්‍රතිකර්ම වශයෙන් සිදු කළ හැකි වන්නේ ශල්‍යකර්මයක් කිරීමයි. මුත්‍ර මාර්ගය තුළට උපකරණයක් යවා එම විශාල වූ පටක කොටස් සිරීමක් සිදු කරනු ලබයි. එමගින් මුත්‍ර පිටවන මාර්ගය විශාල වෙයි . ( TURP , TUIP surgery ). නමුත් මෙය වයස් ගත වීමත් සමග ඇති වන රෝගයක් නිසා ශල්‍යකර්ම සදහා යොමු වීම මගින් සංකූලතා ඇතිවිය හැක. තවද කාලය ගත වීම සමග නැවත නැවත රෝගය හට ගත හැක.



නමුත් මේ සදහා එම සංකූලතා වලින් තොර වූ ආයුර්වේද ප්‍රතිකාර පවතී. ඒ සදහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. මුත්‍රාශය තුලට ඖෂධ යවා සිදු කරන ප්‍රතිකාරයක් ආයුර්වේදයේ පවතී. එය උත්තර වස්ති නමින් හඳුන්වයි. තව ද නොයක් වූ තෙල් වර්ග රෝගියාගෙ උදරයේ පහල කොටසේ( lower abdomen) හා මුත්‍රාශය අවට ආලේප කර ස්වේද කර්ම අනුගමනය කරයි. මෙය නාඩි ස්වේදය නම් වේ.

තව ද මේ සදහා වාත ශමන ප්‍රතිකාර , මූත්‍ර කාරක ඖෂධ අභ්‍යන්තර ඖෂධ ලෙස ලබා දෙන අතර බාහිරව වාත සමන පැලැස්තර යෙදීම ද සිදු කරයි. මෙසේ ලබදෙන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. රෝගියාගේ ප්‍රකෘතිය , රෝග ලක්ෂණ , රෝගියාට ඇති වෙනත් රෝග ( දියවැඩියාව ආදි ) අනුව වෙනස් වන නිසා මෙම ප්‍රතිකාරයන් නිසි සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ උපදෙස් යටතේ ලබා ගැනීමෙන් ඔබට මෙම රෝගය සුව කර ගැනීමට හැක. ප්‍රතිකාර ලබා ගන්න කාලය තුල මෙන්ම ඉන් පසුවද දුම්පානය , මත්පැන් පානය හා ඌශ්න ආහාර පාන වලින් වැලකී සිටීම මෙම රෝගය හා සම්බන්ධ ඔබගේ සෞඛ්‍ය තත්වය ඉහල යාමට හේතුවේ.

සැකසුම - නිමේශා හක්මනගේ 
                    BAMS (UoC). 

Friday, August 14, 2020

BPH - වයස්ගතවීමත් සමඟ පුරුෂයන්ට ඇතිවන රෝග (පළමු කොටස)


 

පුරස්ථි ග්‍රන්ථිය ( prostate gland )යනු පිරිමින්ගේ ප්‍රජනක පද්ධතියට අයත් ග්‍රන්ථියකි. මෙය මුත්‍රාශය පතුලේ ඇති කුඩා අවයවයකි. මෙම ග්‍රන්ථිය මගින් ශුක්‍රාණු වලට අදාල ස්‍රාවයන් නිපදවන අතර එය මුත්‍රාශයට මුදාහැර ශුක්‍රාණු තරලය හා මිශ්‍රව ශරීරයෙන් ශුක්‍රාණු සමග පිට කරයි.

වයස අවුරුදු 50ක් 55ක් පමණ වන විට පිරිමින්ගෙන් 25% පමණ පුද්ගලයින්ට පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත රෝගාබාධ හට ගනී. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම ද මේ අතුරින් එක් රෝගයකි. ආයුර්වේදයේ සුශ්‍රැත සංහිතාවේ මුත්‍ර රෝග 12ක් දක්වා ඇත. ඉන් එකක් වන "වාතඅෂ්ඨිල" නමින් හඳුන්වනුයේ මෙම පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමේ රෝගයයි.


  • රෝගය ඇති වන අයුරු 
බොහෝ විට මෙයට හේතු ලෙස දක්වනුයේ වයසට යාමත් සමඟ ශරීරයේ සිදුවුන සිදුවන හෝමෝනමය වෙනස්කම්ය. පුරුෂයා සතුව පිරිමි හෝමෝනය වන ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය ට අමතරව ඉතා සුළු වශයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ද පවතී. 

වයස්ගත වීමත් සමග රුධිරයේ ඇති ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය අඩු වීමක් සිදු වේ. ඊට සාපේක්ෂව ඊස්ට්‍රජන් වල වැඩි වීමක් වේ. මෙය පුරස්ථි ග්‍රන්ථියේ වර්දයනට හේතුවන ද්‍රවයන්හි ක්‍රියාකාරීත්වය ඉහල දැමීමට හේතු වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත.

මෙම ග්‍රන්ථිය ක්‍රමයෙන් විශාල වන්නට පටන් ගැනීමත් සමග මේ හරහා ගමන් කරන මුත්‍ර මාර්ගය අවහිර වෙයි. මෙසේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම benign prostate hyperplasia (BPH ) තත්වය ලෙස බටහිර වෛද්‍ය ක්‍රමයේ දක්වයි. මෙය පිලිකාමය තත්වයක් නොවේ. නමුත් වයස් ගත වීමත් සමග පුරුෂයන් අතර බහුල රෝග තත්වයකි. මෙම රෝගය සෑදීමේ ප්‍රවණතාව ඇති අවදානම් කාණ්ඩ ලෙස වයස්ගත පුරුෂයන්, (අවුරුදු 45 ට වැඩි පුද්ගලයන් ) , අධික තරබාරු පුද්ගලයන් හා මෙම රෝගය සහිත පවුල් ඉතිහාසයක් ඇති කාණ්ඩ දැක්විය හැක .


  • රෝග ලක්ෂණ
* ප්‍රථමයෙන් පහළවන ලක්ෂණය වනුයේ මුත්‍ර කිරීමට ඇති අපහසුවයි.

* මුත්‍ර කිරීම ආරම්භ වනුයේ තරමක් ප්‍රමාද වීමෙන් අනතුරුවයි

* මුත්‍රා විදීම ඈතට සිදුනොවී ළඟින්ම මුත්‍ර විදීම සිදු වෙයි.

* මුත්‍රා විදින වේගයත් ඉතාමත් අඩුවෙයි.

* කඩින් කඩ මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වේ

* රාත්‍රී කාලයේදී කීප වතාවක් නැගිට මුත්‍රා කිරීම

* මුත්‍රා දැවිල්ල ඇති වීම .

* මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වූ විට ඒ වේලේම මුත්‍රා කිරීමට හදිසි ගතියක් දැනීම .

වැදගත්ම කරුණ වනුයේ වෙනත් රෝග සඳහා ද මෙම ලක්ෂණ ඇතිවිය හැකි වීමයි. උදාහරණ ලෙස මුත්‍රා ගල් වලදී , මුත්‍රා ආසාදන තත්ත්ව වලදී ද මෙම ලක්ෂණ හට ගනී. එම නිසා නිවැරැදිව රෝගය හඳුනා ගැනීම වැදගත් කරුණකි. රෝගය වෙන්කර හඳුනාගැනීම ගැනීම සඳහා විවිධ පරීක්ෂණ ඇත. 

මෙහිදී digital rectal examination හෙවත් ගුද මාර්ගය තුළින් ඇඟිල්ලක් යවා පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රමාණය හා ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබාගත හැක. ස්කෑන් පරීක්ෂාවක් මගින්ද හදුනාගත හැක.

තව ද PSA නමැති රුධිර පරීක්ෂාව ද සිදුකල හැක. මුත්‍රා ආසාදනයක් දැයි වෙන්කර හදුනා ගැනීමට මුත්‍රා සාම්පල පරීක්ෂාව සිදු කළ හැක. පිළිකාමය තත්ත්වයක් දැයි වෙන්කර ගැනීම සඳහා prostate biopsy පරීක්ශාව කිරීම මගින් නිවැරදි රෝග විනිශ්චයට පැමිණිය හැක.


සැකසුම - නිමේශා හක්මනගේ 
                    BAMS (UoC).