මම මුලින්ම ඔබට දෙන්නම් ආත්රයිටිස් රෝගය සඳහා වසර දහසකට වැඩි කලක් තිස්සේ පාවිච්චි කෙරෙන ආයුර්වේද කසායක්. ආමයට තිත්ත රස යෝග්‍ය නිසා ආත්රයිටිස් රෝගයට මේ කසාය ඉතාම හොඳ බවයි ආයුර්වේදයේ කියෑවෙන්නේ. මේ සඳහා පහත සඳහන් ඖෂධ වර්ග අවශ්‍යයි. එනම්, සුදු හඳුන්, ඉරිවේරිය, අමු ඉඟුරු, කලාඳුරු අල, දුම්මැල්ල. කොහොඹ පොතු, බිංකොහොඹ. පාවට්ටා මුල්, කටුවැල්බටු, මේ සියල්ල කලං 1 මංචාඩි 6 බැගින් අරගෙන වතුර කෝප්ප 8 ක් සමඟ මිශ්‍ර කරලා අනුපාන වශයෙන් සීනි සහ මී පැණි මිශ්‍ර කර උදේට කෝප්ප භාගයකුත්, සවසට කෝප්ප භාගයකුත් පානය කළ යුතුයි.
මෙසේ එක දිගට දින 6 ක් පානය කළ විට (එනම් කසාය හැලි 6 ක්) ආත්රයිටිස් වේදනාව සහ ඉදිමුම මඟ හැරී යනවා.
අපි මීළඟට බලමු මේ සඳහා යොදා ගෙන තිබෙන ඖෂධවල ගුණාගුණ මොනවද කියලා.
1. සුදු හඳුන් - Santalum album යනුවෙන් හැඳින්වෙන සුදු හඳුන් ගස වසර 100 කට වැඩි ආයු කාලයක් තිබෙන ශාකයක්. ලක්ෂමී දේව මාතාවගේ වාස භවනය ලෙස ඉන්දියානුවන් සුදු හඳුන් ගස හඳුන්වන අතර එම නිසා එය වන්දනීය ශාකයක් බවට පත් වෙනවා. සුදුහඳුන් යනු ශරීරය සිසිල් කරන ද්‍රව්‍යයක් ලෙස තමයි ආයුර්වේදයේ හඳුන්වන්නේ. විශේෂයෙන් අත් පා වල දැවිල්ලක් තිබේ නම් ඇල්වතුරෙන් ගලගා ගත් සුදු හඳුන් එම තැන්වල ආලේප කරන ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා. මෙය වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ රූපලංකරණ ඖෂධයක් ලෙසයි. රුධිරය පිරිපහදු කිරීමේ ගුණය, වාජීකරණ ගුණය, ලේ වහනය වීමේ තත්ත්වයක් පාලනය කිරීමේ හැකියාව, පණුවන් ගැසු තුවාල පිරිසිදු කිරීමේ බලය, විඩාව දුරලීමේ ගුණය, විජලනය නැති කිරීමේ බලය යනාදිය සුදු හඳුන් සතුව තිබෙනවා.
2. ඉරිවේරිය - Plectranthus Zelenicus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඉරිවේරිය සිසිල් ගුණයෙන් යුත් කුසගිනි වඩන ශාකයක්. පාචනය, අතීසාරය වැනි රෝගවලදී ඉරිවේරිය කොටාගත් ඉස්ම බඳුනක දමා එතුළට ගිනියම් කළ යකඩ කැබැල්ලක් දමා යුෂ පැසී තිබුණු පසු මී පැණි සමඟ මිශ්‍ර කර රෝගියාට පානය කිරීමට දෙනවා.
3. කලාඳුරු - CYPERUS Rotundas යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කලාඳුරු පාරම්පරික සිංහල වෙදකම තුළ ඉතා වැදගත් ශාකයක්. වෛද්‍ය උපදෙස් මත කලාඳුරු ආහාරයට ගැනීමෙන් ආමාශයෙහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වනවා. ක්‍රිමි රෝග සඳහා හොඳ ඖෂධයක් ලෙසත් මෙය පිළිගන්නවා.
4. දුම්මැල්ල - මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නෙ Trichosanthes cucumerina යන්නයි. කහඋණ, නියුමෝනියාව, රක්තහීනතාව, පීනස, ක්‍රිමි රෝග, ඉදිමුම්, දද සහ කුෂ්ට, සොරයිසිස් හෙවත් පොතු කබර, දියවැඩියාව, අක්මා රෝග, වමනය, ඇතුළු රෝග 25 කට ප්‍රතිකාර කිරීමට දුම්මැල්ල යොදා ගන්නවා.
5. බිං කොහොඹ - Andrographis paniculata හෙවත් බිං කොහොඹ ශාක ලෝකයේ සියලු තිත්ත ශාකයන් අතර අගරජු වශයෙන් සැලකෙනවා. වෛරස් නාශක, සිසිල් ගුණය සහිත මේ පැලෑටිය ආයුර්වේදයේ සහ පැරැණි චීන වෛද්‍ය ක්‍රමවල ප්‍රධානතම අමුද්‍රව්‍යයක් . එනම් සෙම්ප්‍රතිශ්‍යා ව සුවපත් කිරීමේ හැකියාව බිං කොහොඹ යුෂ වලට තිබෙනවා. චිකුන් ගුන්යා, සූකර උණ, උණසන්නිපාතය යන රෝග සුවපත් කිරීම සඳහා සිද්ධ වෛද්‍ය ක්‍රමය තුළ පරිහරණය කරන ප්‍රධානතම අමුද්‍රව්‍ය මෙයයි.
6. පාවට්ටා - මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Adhathoda Vasica යන්නයි. තිත්ත රසය සහිත ලඝූ/ රූක්ෂ ගුණ දෙන ශීත වීර්යය ඇති තරමක බෙහෙත් පැලෑටියක් ලෙස මෙය ප්රකටයි. මෙහි පස් පංගුවම ප්‍රයෝජනයට ගන්නවා.
මූලාශ්‍රය : වෛද්‍ය වසන්ත උදයජීව
Team of Helabojun